Sitemap

සංවර්ධන අංශය

කාර්යභාරය

ළමුන් හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා සංවර්ධනය තහවුරු කෙරෙන, ඔවුනට හිංසනයෙන් තොරව ජීවත්වීමේ පරිසරයක් ගොඩ නැංවීම උදෙසා සංවේදී සමාජයක් බිහි කිරීමේ අරමුණින් අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතන හා අංශ මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය, ළමා හා කාන්තා සංවර්ධනයට අදාළ ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා wධීක්ෂණය සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

එසේම එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන හා රාජ්‍ය නොවන සංවිධානවලට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද සංවර්ධන අංශය මගින් සිදුකෙරේ.

ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන වැඩසටහන් - 2016

01. පාරිසරික සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කාන්තාවන් දිරිගැන්වීම

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැටසටහන් යටතේ පාරිසරික හා සංචාරක කර්මාන්ත ක්ෂේත්‍ර‍යෙහි කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම උදෙසා  පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූ ග්‍රාමීය කාන්තාවන්ගේ ආදායම  වර්ධනය කිරීම සහ  ඔවුන්  රැකියාවන් වෙත යොමු කිරීමටත්,  දේශීය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන නිමැවුම්, දේශීය  ඖෂධ, දේශීය සංස්කෘතිකාංග ඔප් නැංවීම, කාබනික පොහොර යොදා ගෙන කරනු ලබන බෝග නිෂ්පාදනය ප්‍රචලිත කිරීම මඟින් ආදායම් උත්පාදන වැඩසටහන් ප්‍රවර්ධනය මෙමඟින් දියත් කෙරේ.

මෙමඟින් ඉතා අඩු ආදායම් මට්ටමක ජීවත්වන කාන්තාවන්ගේ නිෂ්පාදන ප්‍රචලිත කිරීමත්,  ශ්‍රම සූරාකෑම, කාන්තා හිංසනය වැනි සංචාරක කර්මාන්තය හා සම්බන්ධව පැන නගින ගැටළු වළක්වා ගැනීම ආදියද අපේක්ෂා කෙරේ.  දැනට නියමු  ව්‍යාපෘතියක් ලෙස  අනුරාධපුර පුජා භූමිය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආරම්භ කරන ලදී.

දැනට ව්‍යවසායක කාන්තාවන් හඳුනාගෙන ව්‍යවසායකත්ව පුහුණුවීම් ලබා දී ඇති අතර, ඔවුන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට සැලසුම් කර ඇත.  ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳ කුටි ඉදි කිරීමටද අපේක්ෂිතය.

02.  ජාත්‍යන්තර කාන්තා දිනය

“සවිබල කතක් - තිරසර හෙටක් ” යන තේමාවෙන් මේ වසරේ මාර්තු 08 දින පැවැත්වූ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයට සමගාමීව දෙදිනක් පුරා ව්‍යවසායක කාන්තාවන්ගේ භාණ්ඩ හා සේවා ඇතුළත් වෙළඳ කුටි 100කින් සමන්විත නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවිපොළක්ද  කාන්තාවන් උදෙසා සෞඛ්‍ය සේවා හා  අත්‍යාවශ්‍ය වන සේවා සඳහා ජංගම සේවා  වැඩසටහනක්ද පවත්වන ලදී.තවද අරමුදල් සංවර්ධන අංශයේ යොදාගනිමින් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137ක විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

03.  මාධ්‍ය වැඩසටහන

කාන්තා  ප්‍රතිරුපයට විවිධාකාරයේ හානි පමුණුවමින්  හා ඇය අවමානයට ලක් කරමින් මාධ්‍ය මඟින් නිරන්තරයෙන්ම සිදු කරනු ලබන ක්‍රියාදාමය වෙනස් කිරීම උදෙසාත් කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබදව හඬ නැංවීම සඳහා  මාධ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.  1982 වසරේදී පැරීසියේ දී පැවති “කාන්තාව සහ ජනමාධ්‍ය සමුළුව” හා 1995 බීජීං හි පැවති “සිව්වන ජගත් කාන්තා සම්මේලනය” විසින් සැකසු ක්‍රියාකාරී සැලැස්මෙහි සඳහන් ප්‍රධාන ක්‍රියාකාරකමක් වන්නේ “කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා මාධ්‍ය කාර්යභාරයයි”. මෙය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක වේ. 

  • කාන්තා ප්‍රඥප්තියේ ඇතුළත් “අයිතිවාසිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ගැටළු”  පිළිබඳව “ශ්‍රී ලංකා කාන්තා ප්‍රබෝධය”  නමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය,  ස්වදේශීය හා වෙළඳ සේවයන්  ඔස්සේ  වැඩසටහන් ප්‍රචාරණය කිරීම
  • අවුරුදු 16 ට අඩු වයස් ගැබ් ගැනීම් හා හිංසනය පිළිබඳ කෙටි චිත්‍රපටයක්  නිෂ්පාදනය කිරීම
  • කාන්තාවන් හා දරුවන් උදෙසා ජාත්‍යන්තර වශයෙන් වෙන්ව ඇති දිනයන්හිදී ඒ පිළිබඳව සමාජය සංවේදී කිරීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් ප්‍රවෘත්ති, සම්මුඛ සාකච්ඡා, පුවත්පත් අතිරේකයන් ආදිය  ඉදිරිපත් කිරීම
  • ලක්හඬ ගුවන් විදුලියේ සෑම සති අන්තයේදීම උදෑසන 6 -  7  දක්වා වු කාලය තුළ දරුවන්ගේ රැකවරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරීම.

04.   තොරතුරු තාක්ෂණ ඒකකය

4.1     කාන්තා තොරතුරු දත්ත පද්ධතිය

කාන්තාව ආර්ථික හා සාමාජීය වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් සංවර්ධනයට දායක කර ගැනීමේදී අත්‍යවශ්‍ය වන දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් වගකිව  යුතු පාර්ශවයන් දැනුවත් කිරීමත්, තොරතුරු තාක්ෂණය තවදුරටත් කාන්තාවන් වෙනුවෙන් ව්‍යාප්ත කිරීමත් අරමුණු කර ගෙන e - women   වැඩසටහන ක්‍රියාත්මක වේ.  මෙහි එක් පියවරක් ලෙස  කාන්තා ගෘහමූලික පවුල් මුහුණදෙන මූලික ගැටළු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු යෙදීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමින් වැන්දඹු හා කාන්තා ගෘහමූලික පවුල් පිළිබඳ තොරතුරු එක් රැස් කොට ඔවුන් පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත  පද්ධතියක් සකස් කොට ඇත.

4.2     ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පරිගණක පුහුණුව ලබා දීම

තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින වනිතා සංවර්ධන නිලධාරීන්ට අවශ්‍ය පරිගණක යන්ත්‍ර ඇතුළු කාර්යාල උපකරණද, එම දත්ත පරිගණකගත කිරීම සදහා පුහුණුවද දිස්ත්‍රික් මට්ටමින් ලබා දුනි.

05.  දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ළමා හා කාන්තා සංවර්ධන ඒකක පිහිටුවීම                                          

ළමා අපයෝජනය හා කාන්තා හිංසනය අවම කිරීමටත් කාන්තාවන් හා ළමුන් මේ යටතේ මුහුණ දෙන අභියෝග /ගැටළු ආදී අවස්ථාවන්හිදී  ඔවුනට රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලැබිය යුතු ආරක්ෂාව, රැකවරණය හා මඟ පෙන්වීම ආදී සේවාවන් එකම ස්ථානයකින් සැපයීම  මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළ සහ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ඒකක ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 1.492ක ප්‍රතිපාදන වෙන් කරන ලදී.

මහඔය, නින්දවූර්, ඇහැලියගොඩ, කළවාන, පාදුක්ක, තිඹිරිගස්යාය, මහරගම, රත්මලාන, කොළඹ, කඩුවෙල, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පාතහේවාහැට, දෙල්තොට, හාරිස්පත්තුව, මහවිලච්චිය, නවගත්තේගම, වළස්මුල්ල, කටුවන, රුවන්වැල්ල, රඹුක්කන, බණ්ඩාරවෙල, ඌවපරණගම, කයිට්ස්, මිනුවන්ගොඩ, හක්මණ, දෙවිනුවර, වැලිපිටිය යන ඒකක 27 සඳහා කාර්යාල උපකරණ ලබා දීමට රුපියල්  මිලියන 3.652ක ප්‍රතිපාදන වැය වී ඇත.

06.  කාන්තාවන්ට හිතකාමී හා උපකාරී ආදර්ශ ගම්මාන වැඩසටහන

වත්මන් සමාජය තුළ  කාන්තාවන්ට හා දරුවන්ට ඇති අභියෝගයන් ජයගැනීම සඳහා සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සංවිධානාත්මක වු වැඩපිළිවෙලක අවශ්‍යතාවය  ඇත. ඒ සඳහා  ප්‍ර‍ජාවගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කරමින් ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනය, සාමාජික ක්‍රියාකාරකම්, දැහැමි හා අධ්‍යාත්මික ගුණාංග වැඩි දියුණු කිරීම සඳහා හිතකර මනෝසමාජීය සංවර්ධන පරිසරයක් ඇති කිරීම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුතු වේ.  ඒ සඳහා පවුල් ඒකකය සතුට, සෙනෙහස හා සුහදතාවය වර්ධනය වු ආර්ථික වශයෙන් සවිමත්  එකිනෙකාට ගෞරවයෙන් බැඳුණු සුන්දර ස්ථානයක් බවට පත් කිරීම කළ යුතු වේ.

ඒ සඳහා අවශ්‍ය මනෝසමාජීය සංවර්ධන පරිසරයක්  ගොඩනඟමින් එවැනි පවුල් රාශියක් ඒකරාශී කරගත් ගමක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වේ.  එහිදී තෝරා ගන්නා ලද ගම්මානයන්හි පොදු ගැටළු සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් අදාළ මැදිහත්වීම් සහ ඊට අදාළ පහසුකම් සැපයීමත්  සිදු කෙරේ.   ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ සියළු වගකිව යුතු නිලධාරින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ඒකාබද්ධ යාන්ත්‍රණයක්  යටතේ වැඩසටහන  ක්‍රියාත්මක කරනු ලබයි.

2016 වසරේ මහවිලච්චිය, වැලිකන්ද, රිදීමාලියද්ද, යටවත්ත, කෝරළෙයිපත්තු දකුණ, කිරාන්  යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 05 හි ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වේ.   

වැඩසටහන සම්බන්ධව රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි නිලධාරීන්  හා ගම්මානයේ ජනතාව දැනුවත් කිරීම

මහවිලච්චිය තුප්පිටියාව ගම්මානයේ පැවති උපදේශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

පැරකුම්යාය ගම්මානයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය  ඉදි කිරීම

07.  ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීමේ විශේෂ වැඩසටහන

 2016 වසර තුළදී  ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීමේ අරමුණ පෙරදැරි කර ගෙන පහත සඳහන් ව්‍යාපෘති මෙම අමාත්‍යාංශය යටතේ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

  1. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ශක්තිමත් කිරීම.

  මෙම වැඩසටහන යටතේ 2015 වසරේ ඉදිකරන ලද අරලගංවිල, හිඟුරක්ගොඩ, බිංගිරිය, ගල්ගමුව, කාන්තන්කුඩි, වාලච්චේන, මහඔය, තිරුක්කෝවිල්, පානම, සියඹලාණ්ඩුව සහ  බිබිල යන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ඒකක අවශ්‍ය උපකරණ හා භාණ්ඩ පහසුකම් සහිතව විවෘත කරන ලදී.

බිංගිරිය හා ගල්ගමුව  පොලිස් ළමා කාර්යාංශය

පානම නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය

මීට අමතරව 2015 වසරේ ඉදිකරන ලද සීතාවකපුර කොට්ඨාශයේ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට රුපියල්  මිලියන 4.170 ක් වැය වී ඇත.

පානම, තිරුක්කෝවිල් සහ වාලච්චේන පොලිස් ළමා කාන්තා කාර්යාංශය

2016 වසරේ නව ව්‍යාපෘතියක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශයේ  නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඉදිකිරීම සඳහා රු.මිලියන 5.5 ක් වෙන් කර ඇති අතර මෙම ගොඩනැගිල්ල දැනට ඉදි කරමින් පවතී.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සඳහා රුපියල්  මිලියන 2 ක අත්‍යවශ්‍ය වු  කාර්යාල උපකරණ ලබා දීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට නිම කර ඇත.

  1. කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදිකිරීම.

ගෘහස්ථ හිංසනය හා වෙනත් හේතූන් නිසා ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන් හා ඔවුන්ගේ කුඩා දරුවන් සඳහා නීතිමය සහනය සහ ආරක්ෂාව සැලසෙන තෙක් ඔවුන්ට තාවකාලිකව රැකවරණය සලසා දීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.  මේ තුළින් ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය, උපදේශනය, වෛද්‍ය පහසුකම් ලබා දීම මෙන්ම ඔවුන් පුනරුත්ථාපනය කිරීමත්,  ඔවුන් තුළ ස්වයං විශ්වාසය ගොඩනංවමින් වින්දිතයින් බලගැන්වීමත්  සිදු කරනු ලබයි.

ඒ අනුව පෙර වර්ෂයන්හිදී ඉදිකරන ලද යාපනය දිස්ත්‍රික්කයේ මරදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ  රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා තවදුරටත් කළ යුතු කටයුතු නිම කිරීම සඳහා රු.මිලියන 9.858ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මරදන්කර්නි හා රත්නපුර ඉදි කරන ලද කාන්තා රැකවරණ මධ්‍යස්ථාන

1.  නව දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම.     

රාජ්‍ය සේවකයින් රාජකාරියෙහි නිරතවන කාල සීමාවේදී ඔවුන්ගේ දරුවන් සුරක්ෂිතව රැඳවීමට සුදුසු ස්ථාන නොමැතිවීම ඔවුන්ගේ සේවා ගුණාත්මකභාවය අඩුවීමට හේතු පාදක වී ඇති බැව් පෙනී ගොස් ඇත. මේ සම්බන්ධව ගරු අග්‍රාමාත්‍යතුමාද උපදෙස් ලබා දී ඇත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදන ලෙසය.ඒ අනුව පසුගිය වසරේ ඉදිකරන ලද පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි පුලතිසි කැකුළු නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය මෙම වසරේ විවෘත කරන ලදී. 

පසුගිය වසරේ ඉදිකරන ලද නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයන් වන අනුරාධපුර, මාතලේ, මඩකලපුව, මොණරාගල යන දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා  ඉතිරි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට රු. මිලියන 9.499 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මඩකලපුව නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය

අනුරාධපුර නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය

2016 වර්ෂය සඳහා නව ව්‍යාපෘතියක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රු. මිලියන 8 ක ප්‍රතිපාදන වෙන් කරන ලදී.

 08.    අඩු ආදායම්ලාභී  වැන්දඹු සහ කාන්තා  ගෘහමුලික පවුල් සදහා වූ  නිවාස සංවර්ධන වැඩසටහන

2016 වර්ෂයේ දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව අඩු ආදායම්ලාභී වැන්දඹු හා කාන්තා ගෘහමුලික පවුල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් නිවාස ඉදි කිරීම සදහා ණය ආධාර ලබාදීමේ  වැඩසටහනක් දියත් කරන ලදී.

මේ අනුව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්  ප්‍රතිලාභීන් 15 බැගින් තෝරාගෙන ඔවුන් හට අඩු පොලී අනුපාතයක් යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් නිවාස ණය ආධාර ලබා දෙන ලදී.  මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ  ප්‍රතිලාභීන් 03 ක් සඳහා ද, අම්පාර 35 ක් ද, කොළඔ 01ක් ද මාතර 19ක් සඳහා ද නිවාස ඉඳිකිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයේදී අම්පාර දිස්ත්‍රික්කයෙන් තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් කිහිපදෙනෙකු හට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් නිවාස ණය ආධාර මුදල් ලබා දෙන ඡායාරූප කිහිපයක් පහතින් වේ.

9 .  නීතිය බලාත්මක කිරීම, යුක්තිදාමයට ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම සඳහා වන වැඩසටහන - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (Strengthening Enforcement of  Law and Access to Justice and Social Integration - UNDP -SELAJ SI )

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම උදෙසා  ඊට ප්‍රතිචාර දැක්වීමට, පුළුල් මෙන්ම ඒකාබද්ධ ප්‍රවේශයකින්, මනා සම්බන්ධීකරණ ක්‍රියාවලියක් යටතේ රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන්ගේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන ඉලක්කය වේ.  මේ යටතේ 2016 වසරේදී  රුපියල් මිලියන 12.968ක ප්‍රතිපාදන අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර  ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන් පහත දැක්වේ.

9.1 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීමට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීමට පැතිකඩ 09ක් ඔස්සේ ආමන්ත්‍රණය කෙරෙන ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලද අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. (අංක අමප/16/0964/740/006,  2016.06.15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි)

මෙම සැලැස්මට අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික නගා සිටුවීම හා හිංසනය වැළැක්වීම/මැදිහත් වීම, රැකියා ස්ථානය/සංක්‍රමණික කාන්තාවන්ට සිදුවන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීම, ආරක්ෂාව සහ නීතිය බලාත්මක කිරීම, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ, මාධ්‍ය, ආපදා කළමණාකරණය යනාදී ක්ෂේත්‍රයන් ඇතුළත්ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ආමන්ත්‍රණය කිරීම සඳහා සකස් කරන ලද මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017- 2019 දක්වා වූ මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත.  ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශ  මගින් මෙම සැලැස්මට අදාළ වූ ක්‍රියාකාරකම් උක්ත කාලසීමාව තුළ දියත් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන  දැනටමත් වෙන් කිරීමට අවශ්‍ය පියවර ගැනේ.

9.2  කාන්තාවන්ට එරෙහි හිංසනය අවම කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතා කිරීම

කාන්තා උපකාරක දුරකථන සේවාව (1938) පිළිබඳව තවදුරටත් දැනුවත්භාවයක් ලබා දීමත් කාන්තාවන් සහ දරුවන් උදෙසා ලබා ගත හැකි නීති සේවාවන් සහ අනෙකුත් සේවාවන් පිළිබඳ තොරතුරු පිළිබඳව  මහජනතාව දැනුවත් කිරීමටත් පියවර ගන්නා ලදී.

9.3  කාන්තාවන්ට එරෙහි හිංසනය සඳහා නීතිමය සහාය ලබා දීම

 මෙම අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව හා ඒකාබද්ධව කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා ප්‍රතිපත්ති ,ව්‍යවස්ථා හඳුන්වා දීම, සංශෝධන කිරීම හා සමාලෝචනය මෙන්ම ඊට අදාලව වැඩසටහන් පැවැත්වීම සිදු කරයි. 

9.4  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණ ඒකාබද්ධව සිදු කෙරෙන වැඩසටහන

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණ ඒකාබද්ධව සිදු කෙරෙන වැඩසටහනෙහි දිස්ත්‍රික්ක මට්ටමින් අනුරාධපුර දිස්ත්‍රික්කයද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් රත්නපුරයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එසේම මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

9.5  කාන්තාවන්ට එරෙහි හිංසනය / අපරාධ පිළිබඳ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් වෙන් කරන ලද  දත්ත එකතු කිරීම සඳහා සහායවීම  ( SGBV Data Base)

වැන්දඹු හා කාන්තා ගෘහමූලික පවුල් පිළිබදව සියළු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වා ගැනීම සදහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

9.6  ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුඵ පැවැත්වීම

අනුරාධපුර, මඩකලපුව හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හී ළමා හා කාන්තා කටයුතු විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දත්ත ඇතුළත් කිරීම පිළිබඳ විශේෂ පුහුණු ලබා දීම සඳහා වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

9.7  ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීතාව ඉහල නැංවීම සඳහා “ ගීතය තුළින් ඇය දකිමු”  නම්   වූ  සෞන්දර්යාත්මක වැඩසටහන

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීතාව ඉහළ නැංවීමට හා ඒ සම්බන්ධව මිනිසුන් තුළ ඇති දැනුවත්භාවය තවදුරටත් ඉහල නැංවීම සඳහා “ගීතය තුළින් ඇය දකිමු” නමින් සෞන්දර්යාත්මක  වැඩසටහනක් නිර්මාණය කෙරිණි. ඒ ඒ ආයතනවල සේවය කරන නිලධාරීන් විසින්ම සිය සෞන්දර්ය කුසලතා ඔප් නංවමින් ගායන හැකියාවන් ඉදිරිපත් කිරීම මෙහිදී සුවිශේෂ වන අතර එමගින් ආයතනය තුළ සේවා තෘප්තිය වැඩි කරලීමටද අවස්ථාව සැලසී ඇත.  ස්ථාන 3 කදී ප්‍රධාන වැඩසටහන් 3 ක් පැවත්වන ලදී.

9.8  ප්‍රකාශන බෙදා හැරීම (Resource Note Books)

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසන ක්ෂේත්‍රයට අදාළව කාන්තාවන් හා දරුවන් සම්බන්ධයෙන් පවතින නීති හා ප්‍රතිපත්ති මෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ලිපිනයන් සහ දුරකථන අංක යනාදිය ඇතුළත්ව මුද්‍රණය කරන ලද සම්පත් සටහන් පොත් වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්  ක්ෂේත්‍ර  නිලධාරීන් වෙත බෙදා හැරීමට කටයුතු කරන ලදී.

9.9 උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

(Diploma Course on Counseling)

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය පිලිබඳ සංවේදිතාව ඉහළ නැංවීම පිණිස උපදේශනය පිළිබඳ වසර 1 ½ ක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා ව්‍යාපෘති ප්‍රතිපාදන සලසා දී ඇත.  ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙහි පොලිස් නිලධාරින්  6 දෙනෙකුද, අනුරාධපුර 25 ක්  හා කොළඹ මධ්‍යස්ථානයෙහි 9 දෙනෙකුද ඇතුළුව නිලධාරින් 40 දෙනෙකු මේ වන විට ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පවත්වනු ලබන මෙම උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව හදාරනු ලබයි.

10.  ප්‍රජනන සෞඛ්‍ය සඳහා ඇති හිමිකම ප්‍රවර්ධනය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා  ජාතික සහ සිවිල් සමාජ සංවිධානවල ධාරිතාව  ශක්තිමත් කිරීම (Strengthened Capacity of National Institutions and Civil Society Organizations to Promote Reproductive Rights and Respond to Gender Based Violence – UNFPA )

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කටයුතු කිරීම සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් හා එමඟින් සිදුවන ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවීම අවම කර  ඔවුන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා රුපියල්  මිලියන 1.8 ක් වෙන් වී ඇත.

10.1 ස්ත්‍රී පුරුෂ සමාජභාවය  මත සිදුවන හිංසනයට හා පීඩාවට පත්වන්නන් සඳහා සේවාවන් සැපයීමට අදාළව රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම. (පොළොන්නරුව, මොණරාගල සහ මුලතිව්) 

10.2  ස්ත්‍රී පුරුෂ සමාජභාවය  මත සිදුවන හිංසනයන් පිළිබඳව  ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් දත්ත ලබා ගැනීම, දත්ත පද්ධතිය සඳහා විධිමත් ලෙස දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත්, වාර්තාකරණයද ඒ සඳහා දත්ත විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ සේවා ලබා ගැනීම.

11. කාන්තාවන්ට සහ දරුවන්ට  අදාළ ප්‍රතිපත්ති සම්පාදනය

2015 වර්ෂයේ දී සමරන ලද  20 වන බිජිං සැමරුමේ දී ලොව පුරා ජීවත්වන කාන්තාවන්ගේ ජීවිත ධනාත්මක ලෙස වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රමෝපායික රාමුවක් නිර්මාණය කරන ලදී.  එය ප්‍රතිපත්ති හා වැඩසටහන් නිර්මාණය කිරීමට මාර්ගෝපදේශනයක් වේ.  ඒ අනුව කාන්තාවන්ට හා දරුවන්ට අදාලව අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්ගත වී ඇති සම්මුතීන් හා ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අමත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යයක් වේ.  ඒ අනුව මෙම වසරේදී පහත සඳහන් ප්‍රතිපත්තිමය කාර්යයන් ක්‍රියාත්මක කරනු ලැබීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

11.1 ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආයෝජනයන්ගෙන් 25% ක් කාන්තාවන් උදෙසා යෙදවීම.

      ශ්‍රම බලකායේ කාන්තා නියුක්තිය 35% ක පමණ අවම මට්ටටමක පැවතීම, කාන්තාවන් අතර   දිළිදු  බව ඉහළ මට්ටමක පැවතීම හා දිළිදු බව නිසාම කාන්තාවන් ආර්ථික හා සමාජීය වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණදීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ග්‍රාමීය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ උපායමාර්ගයක් ලෙස මේ ප්‍රතිපත්තිය හඳුන්වා දුනි.

   ඒ අනුව, සියළු අමාත්‍යාංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් සභා හා දිස්ත්‍රික් මට්ටමින්   ක්‍රියාත්මක කරන ආර්ථීක සංවර්ධන ව්‍යාපෘති ආයෝජනවලින් 25%ක් කාන්තාවන් ඉලක්ක කරගෙන ආයෝජනය කිරීමට මෙමඟින් පියවර ගනු ලැබේ.  දැනටමත් අදාළ අමාත්‍යාංශ ඇතුළු ආයතන ලිඛිතව මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර අවශ්‍ය වැඩිදුර උපදෙස් හා මගපෙන්වීම් ඉදරියේදී සැපයීමට නියමිතය.

11.2 කාන්තා ගෘහමූලික පවුල් සඳහා වන ජාතික සැලැස්ම

      මෙම සැලැස්ම අමාත්‍යාංශය සමඟ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන මෙන්ම අනිකුත් රාජ්‍ය  හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව සකස් කරන ලදී.  මෙම ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ කාන්තා ගෘහමූලික පවුල් සඳහා කළ යුතු ක්‍රමෝපායන්, ප්‍රතිඵල, ප්‍රධාන ක්‍රියාකාරකම්, දර්ශක, තහවුරු කර ගැනීමේ ක්‍රම, ක්‍රියාත්මක කරන ආයතන, අදාළ කාල රාමුව හා අයවැය පිළිබඳවය. මේ සඳහා පොදු ආකෘතියක් සකස් කර අදාළ අමාත්‍යාංශ හා ආයතන වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

11.3  අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන ස්ථාපනය කිරීම

කාන්තාවන්ට එරෙහිව සිදුවන සියළු ආකාරයේ වෙනස්කම් පිටුදැකීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම විවිධ මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධානයන් සඳහා වගකීමට රටක් වශයෙන් අප බැඳී ඇත. ඒ අනුව දැනට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව වගකීම  අදාළ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයෙකු/ අධ්‍යක්ෂකවරයෙකු යටතට පැවරීමට සැලසුම් කර ඇත.ප්‍රධාන වශයෙන් තම අමාත්‍යාංශ තුළ කටයුතු කිරීමේදී  මෙම අතිරේක ලේකම්/ අධ්‍යක්ෂක (සම්බන්ධීකරණ නිලධාරියා) විසින් තම අමාත්‍යාංශය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය තුලනයන් පවත්වා ගැනීම මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණයට හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය ක්‍රියාත්මක කිරීම හා තම සේවා ස්ථානය තුළ මෙන්ම තම අමාත්‍යාංශයට අනුබද්ධ දෙපාර්තමේන්තු, දිස්ත්‍රික්  හා ප්‍රාදේශීය මට්ටමින් ඇති ආයතනයන්හි ලිංගික හිංසන තුරන් කිරීමේ කමිටු පිහිටුවීමට කටයුතු කළ යුතු වේ. 

මේ සඳහා ඒ ඒ අමාත්‍යාංශයන්හි  අතිරේක ලේකම්වරයකු/ අධ්‍යක්ෂකවරයකු පත් කරන අතර එම නිලධාරියාට සහාය වන සේ කටයුතු කිරීමට සුදුසු සංවර්ධන නිලධාරියෙකු එම අමාත්‍යාංශය තුළින්ම පත්කර ගැනීමට සැලසුම් කර ඇත.

11.4  හිංසනයට පත්වන කාන්තාවන් උදෙසා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් වු තාවකාලික රැකවරණ නිවාස පවත්වාගෙන යාම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම

අප අමාත්‍යාංශය යටතේ මෙන්ම වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන කාන්තා රැකවරණ නිවාස නිසි ක්‍රමවේදයකට අනුව පවත්වාගෙන යාම උදෙසා මෙම  මාර්ගෝපදේශය සකස් කරන ලදී.

11.5  අම්පාර දිස්ත්‍රික්කයෙහි ඉදි කරනු ලබන ප්‍රජා අධ්‍යාපනික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමඟ එළඹෙන අවබෝධතා ගිවිසුම

අම්පාර දිස්ත්‍රික්කයෙහි යුද්ධයෙන් විපතට පත් කාන්තාවන් උදෙසා ප්‍රජා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ඉඳි කිරීමට සැලසුම් කර ඇත. මේ තුළින් අපේක්ෂා කරනුයේ කාන්තාවන් 20 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කර ඔවුන් මඟින් ග්‍රාමීය මට්ටමේ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් 200 දෙනෙකු සඳහා රෙදිපිළි හා නිමි ඇදුම්, කෘෂි ආහාර සැකසීම, පරිගණක පුහුණුව, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන්, සූර්යබල තාක්ෂණය, භූමි අලංකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීමත්, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළදපොළ පහසුකම් සලසාදීමත් වේ.

සංවර්ධන අංශය