මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ගරු අමාත්‍යතුමිය විසින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018 යන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ, ළමා ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද, මෙම ජාතික ප්‍රතිපත්තිය පාදක කරගනිමින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ පනතක් කෙටුම්පත් කිරීමටත්, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට එම සැලැස්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාක්මක කිරීමටත් ඉදිරියේ දී අපේක්ෂා කෙරේ. ළමා ලේකම් කාර්යාලය මගින් 2004 වර්ෂයේ දී ප්‍රථම වරට මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කොට එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලදී. එහෙත් එම ජාතික ප්‍රතිපත්තිය සකස් කොට දීර්ඝ කාලයක් ගතව ඇති බැවින් මුල් ළමාවියේ දරුවන් ඉතා ඉහළ අවධානයකින් යුතුව රැකබලා ගත යුතු බවත් දරුවන් වෙත සැපයෙන සේවා වල ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය විය යුතු බවත් අමාත්‍යාංශය මගින් හඳුනාගන්නා ලදී. තව ද ගෝලීය වශයෙන් මෙම ක්ෂේත්‍රයේ සිදුවන්නා වූ වර්ධනය, තිරසාර සංවර්ධන තේමාවන්හි ඉලක්ක වැනි න්‍යාය පත්‍ර මෙන්ම 2004 - ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී හඳුනාගනු ලැබූ දුර්වලතාවයන් ද යන හේතූන් මත මෙම ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය පැන නැගින. ඒ අනුව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික කමිටුවෙහි සහ මෙම විෂය හා සම්බන්ධ සියලු පාර්ශවයන්හි අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විද්වත් මණ්ඩලයක් විසින් 2004 - ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කරමින් මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018 සකස් කිරීම සිදු කරන ලදී. ළමා සංවර්ධනයේ විවිධ පැතිකඩ ඇති බැවින් මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා බහු ආංශික ප්‍රවේශයක් අවශ්‍ය වේ . එබැවින් මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන ක්‍රියාවලියේ මූලික පාර්ශවකරුවන් ලෙස හඳුනාගත් සියලුම අමාත්‍යාංශ, පළාත්, නියෝජිත ආයතන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ජාත්‍යාන්තර සංවිධාන සම්බන්ධ කරගනිමින් නිසි උපාය මාර්ගික සැලැස්මකට අනුව ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018 සාර්ථකව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමත් ඒ තුළින් මුල් ළමාවියේ දරුවන් සඳහා ඉහළ ගුණාත්මක සේවාවක් පිරිනැමීමත් අමාත්‍යාංශයේ ඉදිරි අපේක්ෂාවයි.