කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

மகளிர் மற்றும் சிறுவர் விவகார அமைச்சு

Ministry of Women and Child Affairs

සංවර්ධන අංශය

කාර්යභාරය

අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යයභාරය වන්නේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් හා සංවර්ධනය තහවුරු කෙරෙන ඔවුනට හිංසනයෙන් තොරව ජීවත්වීමේ පරිසරයකින් යුතු සංවේදී සමාජයක් බිහි කිරීම උදෙසා අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතන හා අංශ මඟින් ක්‍රියාත්මක කරන  සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය,  ළමා හා කාන්තා සංවර්ධනයට අදාල ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,  පසුවිපරම් කිරීම හා  ඇගයීම සිදු කිරීමයි.

එසේම අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට පත් කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීයව සිදු කරන ළමා හා කාන්තා සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විශේෂයෙන්ම  එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන වලින් ලැබෙන ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද එම සංවිධාන හා අමාත්‍යාංශයේ අනෙකුත් අංශ සම්බන්ධීකරණයද සංවර්ධන අංශය විසින් ඉටු කරනු ලබයි.

ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන වැඩසටහන්  2017

 

01. පාරිසරික සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කාන්තාවන් දිරිගැන්වීම සහ ඔවුන් සවිබල ගැන්වීම

 පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ වෙමින් දේශීය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන නිමැවුම් විශේෂයෙන්ම දේශීය ඖෂධ, කාබනික පොහොර යොදා ගෙන කරනු ලබන බෝග නිෂ්පාදනය හා අහිතකර රසකාරක නොමැතිව ආහාරපාන සකස් කිරීම මෙමඟින් දිරිගැන්වේ.

 මේ තුළින් ඉතා අඩු ආදායම් මට්ටමක ජීවත්වන ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදනයන් ප්‍රචලිත කිරීමත්, එම නිෂ්පාදන සඳහා විධිමත් වෙළඳපොලක් ඇති කිරීමත්,  ශ්‍රම සූරාකෑම, කාන්තා හිංසනය වැනි සංචාරක කර්මාන්තය හා සම්බන්ධව පැන නගින ගැටළු වලක්වා ගැනීමත් අපේක්ෂා කෙරේ.  

කාන්තාවන්ගේ නිෂ්පාදන පහසුවෙන් අලෙවි කිරීම සඳහා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුජා භූමිය කේන්ද්‍ර කරගනිමින්ද මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද පුත්තලම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේද  මෙවැනි අලෙවි මධ්‍යස්ථාන 03ක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

02. ජාත්‍යන්තර කාන්තා දිනය

  තුන්කල් දකින්නී-  සවියෙන් දිනන්නී මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ප්‍රධාන තේමාව වූ අතර එය  කාන්තා ව්‍යවසායිකාවන් තව දුරටත් දිරි ගැන්වීම උදෙසා ඉලක්ක කරන ලදී.  ඒ අනුව කාන්තා දින ජාතික උත්සවය 2017-03-08 දින  මාතරදී  පවත්වන ලදී.  මීට සමගාමීව දෙදිනක් පුරා මාතර දිස්ත්‍රික්කයේ ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදනයන් ඇතුළත් වෙළඳ කුටි 75කින් සමන්විත අලෙවිපොලක් හා නිෂ්පාදන ප්‍රදර්ශනයක්ද කාන්තාවන් උදෙසා සෞඛ්‍ය සේවාවන්  හා  වෙනත් අත්‍යාවශ්‍ය සේවා සඳහා වන ජංගම සේවාවක්ද  පවත්වන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ඇති වැදගත්කම මෙන්ම කාන්තාවන්ට එරෙහි සිදුවන හිංසනයන් සම්බන්ධයෙන්  ජනතාව උද්දේශනය කිරීමේ අරමුණින් විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රය වටරවුමේදී 2017.03.01 වන දිනද සිවිල් සංවිධාන ක්‍රියාකාරිනියන් ඇතුළු විශාල කාන්තා සහභාගීත්වයෙන් යුතුව පාගමනක් පවත්වන ලදී.   මෙයට සමගාමීව දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් තුළද මෙවැනි උද්දේශන පාගමන් සංවිධානය කරන ලදී

03. මාධ්‍ය වැඩසටහන

සමාජයේ ප්‍රගමනයට මෙන්ම එහි පසුබෑමටද  විශාල බලපෑමක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය,  විශේෂයෙන්ම සමාජ ජාලා හා වෙබ් අඩවි තුළින් වර්තමානයේ සිදු කරනු ලබයි. “කාන්තාව” මේ සියලු මාධ්‍ය තුළින් නිරුපණය කෙරෙන කේන්ද්‍ර චරිතයක් බවට පත්වී ඇත. ඒ අනුව කාන්තාවන්ගේ සවිබල ගැන්වීම සහ ඇයගේ සුරැකීම   උදෙසා අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන වැඩසටහන්/ ව්‍යාපෘති/ ක්‍රියාකාරකම් පිළිබඳව සමාජය සංවේදී කිරීමත් දැනුවත් කිරීමත් සඳහා මෙම මාධ්‍යයන්හි දායකත්වය ලබා ගැනීම සිදු කරනු ලබයි. 

1982 පැරිසියේදී පැවති “කාන්තාව සහ ජනමාධ්‍ය සමුළුව” හා 1995 බීජීංහි පැවති “සිව්වන ජගත් කාන්තා සම්මේලනය” විසින් සැකසු ක්‍රියාකාරී සැලැස්මෙහි සඳහන් ප්‍රධාන ක්‍රියාකාරකමක්  වන්නේ “කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා මාධ්‍ය කාර්යභාරයයි.” මෙය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පහත සඳහන් කාර්යයන් සිදු කරන ලදී.  

කාන්තාවන් හා දරුවන් උදෙසා ජාත්‍යන්තර වශයෙන් වෙන්ව ඇති දිනයන්හීදී ඒ පිළිබඳව සමාජය සංවේදී කිරීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් ප්‍රවෘත්ති, සම්මුඛ සාකච්ඡා, පුවත්පත් අතිරේකයන් ආදීය  තුළින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

අඩුවයස් දරුවන් ගැබ් ගැනීම පිළිබඳව “ පෑදි දිය ” නමින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම

අමාත්‍යාංශයේ කාර්යයභාරය හා ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කිරීම

ITN, FM ගුවන් විදුලියේ සෑම සති අන්තයේදීම උදෑසන 6 -7 වු කාලය තුළ දරුවන්ගේ රැකවරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් කිරීම.

අඩු පහසුකම් සහිතව වුවද කාර්යක්ෂම සේවයක් සිදු කරන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට  නවීන පහසුකම් ලබාදී ශක්තිමත් කිරීම.

04. තොරතුරු තාක්ෂණ ඒකකය 

 

කාන්තාව ආර්ථික හා සාමාජයීය වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් සංවර්ධනයට දායක කර ගැනීමේදී සහ ඔවුන්ට ඇති අභියෝග ජයගැනීම සඳහාත් කාන්තාව  සම්බන්ධ වු නිවරැදි දත්ත තිබීම තුළින් එම කාර්යයන් වඩාත් විශ්වාසනීයත්වයෙන් යුතුව සිදු කිරීමට පහසු වේ. එම අරමුණින් අමාත්‍යාංශය තුළ මෙම ඒකකය ක්‍රියාත්මක වේ. එහිදී පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි.

  • දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පිහිටි ළමා හා කාන්තා සංවර්ධන ඒකක අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය සමඟ ජාලගත කිරීම
  • මේවායේ සිටින ක්ෂේත්‍ර නිලධාරීන් මෙම කාර්යය සඳහා අනුයුක්ත කිරීම හා ඔවුනට අවශ්‍ය තාක්ෂණික මෙවලම් (Dongle, Pendrive) සැපයීම
  • අමාත්‍යාංශයීය අවශ්‍යතාවයන් අනුව දත්ත පද්ධති හා මෘදුකාංග පද්ධති නිර්මාණය

E-women සංකල්පය යටතේ ජාතික වශයෙන් වැදගත් වන වැන්දඹු හා ගෘහමූලික කාන්තා දත්ත පද්ධතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිළිබඳ දත්ත පද්ධති නිර්මාණය.

-   අමාත්‍යාංශයේ විවිධ අංශවල අවශ්‍යතා අනුව දත්ත පද්ධති නිර්මාණය

4.4    තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

-     අමාත්‍යාංශය හා ඊට සම්බන්ධ සියළුම ආයතනවල නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

4.5       අමාත්‍යාංශය හා ක්ෂේත්‍ර නිලධාරීන් අතර සන්නිවේදනය පහසු    කිරීම.

අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ජාලගත කිරීමේ අරමුණින් ජාලගත පද්ධතියක් (APN Solution) ස්ථාපිත කිරීම.

මේ යටතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති ළමා හා කාන්තා සංවර්ධන ඒකකවලට ඩොංගල් ලබා දීම.

-     අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර අභ්‍යන්තර ඊමේල් පද්ධතියක් ස්ථාපිත කිරීම.

4.6       අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ සම්පත් කාර්යක්ෂමව

ප්‍ර යෝජනයට ගැනීම

  • මධ්‍යම ප්‍රතිවෛරස් මෘදුකාංග පද්ධතියක් (Central Virus Guard System) ස්ථාපිත කිරීම.
  • මෘදුකාංග, දෘඩාංග හා ජාල පද්ධති නඩත්තුව.

4.7       අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය පවත්වාගෙන යාම.

4.8       නිර් මාණාත්මක දායකත්වය

-           ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ‘සුව සවි ලිය’ ශරීර සුවතා ජංගම දුරකථන යෙදුම හා වාර් තාමය වැඩසටහන නිෂ්පාදනය

-           ICTA and Dialog ආයතන සමඟ එකතු වී ‘සුහුරු ලිය’ හා ‘සුහුරු කථා’ වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කිරීම

-           ජාතික උත්සව අවස්ථාවන්හිදී කාන්තාව හා දරුවන්ගේ අභිමානය ඔප්නැංවෙන සේ ආරාධනා පත්‍ර/ දැන්වීම්/ මුල්දින කවර/ මුද්දර ආකෘතීන්/ අත්පත්‍රිකා නිර් මාණය

05.  ළමා හා කාන්තා සංවර්ධන ඒකක පිහිටුවීම

 දිවයිනේ සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ අප අමාත්‍යාංශයේ සේවාවන් සපයනු ලබන්නේ  වනිතා සංවර්ධන නිලධාරි/ උපදේශන නිලධාරි/ උපදේශන සහකාර නිලධාරි/ ළමා හිමිකම් ප්‍රවර්ධන  නිලධාරි/ මුල් ළමාවිය සංවර්ධන සහකාර/ ළමාරක්ෂක හා මනෝ සමාජයීය නිලධාරි හා සහන සොයුරිය යන නිලධාරින් විසිනි. එම නිලධාරින් එක් ඒකකයක් ලෙස ස්ථානගතව සිටීමෙන් කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන අපයෝජනයන් හා හිංසන අවම කිරීමටත් ඔවුන් මුහුණ දෙන අභියෝග/ ගැටළු ආදී අවස්ථාවන්හීදි  රාජ්‍ය  යාන්ත්‍රණයෙන් ලැබිය යුතු ආරක්ෂාව, රැකවරණය හා මඟ පෙන්වීම ආදී සේවාවන්  එකම ස්ථානයකින් සැපයීම මෙන්ම  එම සේවාලාභීන් පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීම ද පහසුවේ. මෙම ඒකකය තුළ තොරතුරු ඒකරාශී කිරීමේ මධ්‍යස්ථානයක් හා උපදේශන මධ්‍යස්ථානයක්ද ක්‍රියාත්මක වේ.

එසේම කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයන් සමඟ මෙන්ම රජයේ මූලික රෝහල්වල පිහිටි “මිතුරු පියස” යන සේවා පියස සමඟද  අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟද ඒකාබද්ධව  කටයුතු කරනු ලබයි.  මේ වසරේදී ඒකක 7ක් ඉදිකිරීමටද  ඒකක 26ක් සඳහා කාර්යාලීය උපකරණ ලබා දීමටද කටයුතු සලසා ඇත.

 06. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන

 6.1      ස්ත්‍රී  පුරුෂ සමාජභාවීය සමසාධාරණත්වය උදෙසා සමාජය සංවේදී කිරීම 

 

ස්ත්‍රි පුරුෂ සමාජභාවය හේතුවෙන්  කාන්තාවන්ට සිදුවන  හිංසන ක්‍රියාවන් හා පීඩාවන්ගෙන් ඇයව මුදවාලීමත්, ඇය කෙරෙහි ඇති විවිධ දුර්මතයන් හා නොසලකා හැරීම් පිළිබඳව සමාජය සංවේදී කිරීමත් ඒ සඳහා පෙළගැසී කටයුතු කරන කණ්ඩායම් උද්දේශනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 

දැනුවත් කිරීමේ වැඩසටහන්, දේශන හා වැඩමුළු සහ සංගීතමය වැඩසටහන් තුළින් වැඩසටහනේ අරමුණ සමාජගත කිරීම සිදු කරනු ලබයි.  මේ වසර තුළ වැඩසටහන් 23 ක් මේ වන විට පවත්වා ඇති අතර තවත් වැඩසටහන් 15ක් ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


6.2      අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපනය කිරීම

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සමානාත්මතාවයකින් හා සම සාධාරණත්වයෙන් යුතුව කටයුතු කිරීමටත්, තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟාවීමටත් , රාජ්‍ය ආයතන තුළ කාන්තාවන්ට සිදු වන හිංසනයන් අවම කිරීමත්  යන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අංක 16/2523/740/013 හා 2016.12.06 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පහත සඳහන් ක්‍රියාකාරම් ඉටු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. 

  • කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට සිදුවන වෙනස්කොට සැලකීම් පිටු දැකීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වන ප්‍රතිපත්ති හා භාවිතයන් ප්‍රවර්ධනය කිරීම.
  • කාන්තාවන්ට හා පුරුෂයින්ට සමානාත්මතාවයකින් කටයුතු කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘති හා වැඩසටහන්  නිර්මාණය කිරීම හා පවත්වා ගෙන යාම.
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය තුලනයන් පවත්වා ගැනීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය ක්‍රියාත්මක කිරීම.
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් සිදුවීම අවම කිරීම සඳහා වැඩසටහන් පද්ධතීන් හා ක්‍රියාමාර්ග සකස් කිරීම.

අදාල නිලධාරීන් මේ සඳහා දැනුවත් කිරීමටත්/ පුහුණු කිරීමටත් අවශ්‍ය පහත ක්‍රියාමාර්ග සියළු අමාත්‍යාංශවල සහයෝගීතාවයෙන් දියත් කිරීමට කටයුතු යොදා ඇත.

අමාත්‍යාංශ ලේකම්වරුන්  සඳහා මූලික දැනුවත්භාවය ලබා දීම.

නිලධාරීන් පුහුණු කිරීමට විශේෂඥ උපදෙස් පරිදි පුහුණු මොඩියුලයක් සකස් කිරීම.

අමාත්‍යාංශ මට්ටමින්  මෙම ක්‍රියාදාමය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම

අත්පත්‍රිකා / පෝස්ටර්  ආදිය මුද්‍රණය

07. කාන්තාවන්ට හිතකාමී හා උපකාරී ආදර්ශ ගම්මාන වැඩසටහන

 

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිමත්, එකිනෙකාට ගෞරවයෙන් බැඳුණු සුන්දර ස්ථානයක් බවට පවුල පත් කිරීමත්, එවැනි පවුල් රාශියක් ඒකරාශී කර ගත් සතුට පෙරදැරි කරගත් ආරක්ෂාකාරී ගමක් නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.  ගම්මාන තෝරා ගැනීමේ දී වැන්දඹු, ගෘහමුලික කාන්තාවන් වැඩි පිරිසක් සිටින/ අඩු ආදායම්ලාභී පවුල් වැඩි ප්‍රමාණයක් සිටින කාන්තා  හිංසන හා ළමා අපයෝජන වැඩි වශයෙන් වාර්තා වන/ විදෙස්ගත කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සිටින/ කාන්තා කාර්ය සංවිධානයක් පිහිටුවා ඇති/ භෞතික  පහසුකම් අඩු ගම්මානයන් තෝරා ගැනේ.

එසේ තෝරා ගන්නා ලද ගම්මානයන්හි පොදු ගැටළු සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් අදාල මැදිහත්වීම්, සහ ඊට අදාල පහසුකම් සැපයීමද  සමාජයීය හා ආර්ථික වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමද සිදු කරනු ලබයි.  මෙහි ක්‍රියාකාරී කණ්ඩායම ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ සියළු වගකිව යුතු නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.   2017 වර්ෂයේ දී ගම්මාන 08ක මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

  මේ වන විට හඳුනාගත් මුලික ගැටළු සඳහා මැදිහත් වීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.  දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙර පාසල් ඉදිකිරීම , ව්‍යවසායක කාන්තාවන් හඳුනාගැනීම හා ඔවුන් ඒ සඳහා තව දුරටත් පුහුණු කිරීම හා ආධාර ලබා දීම, පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, දැනුවත්භාවීය වැඩසටහන් ආදිය අදාළ ගම්මානයන් තුළ ක්‍රියාත්මක කර ඇත.


 08. ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීමේ විශේෂ වැඩසටහන

 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂය සඳහා  රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන  වෙන් වී ඇත.  ඒ අනුව 2017 වසර තුළදී  ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීමේත්, වින්දිතයින් වෙත අවශ්‍ය සහන සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් පහත සඳහන් ක්‍රියාකාරකම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

  •   පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ශක්තිමත් කිරීම. 

ළමුන් හා කාන්තාවන්ට සිදුවන හිංසනයන් අවම කර ගැනීම උදෙසා පොලිස් ස්ථානයන්හි පිහිටි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වන විට  නව කාර්යාංශ 28ක් ඉදිකර  අවශ්‍ය කාර්යාලීය උපකරණද සහිතව කාන්තාවන්ගේ හා දරුවන්ගේ සුභ සාධනය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට භාරදී ඇත.   2017 වර්ෂයේ  කාර්යාංශයන් 06ක් ඉදිකිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනයන් මේ වන විටත් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදා හැර ඇති අතර එම ඉදිකිරීම් කාර්යයන් ආරම්භ කර ඇත.

 ඤ මීට අමතරව තඹුත්තේගම සහ ගම්පහ පොලිස් ස්ථානයන්හි ඇති කාර්යාංශයන් සඳහා අවශ්‍ය කාර්යාලීය උපකරණ ලබා දීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත.

8.2   කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම.

ගෘහස්ථ හිංසනය හා වෙනත් හේතූන් නිසා ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන් හා ඔවුන්ගේ කුඩා දරුවන් සඳහා නීතිමය සහනය සහ ආරක්ෂාව සැලසෙන තෙක් ඔවුන්ට තාවකාලිකව රැකවරණය සලසාදීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. දැනට අමාත්‍යාංශය විසින් යාපනය , මුලතිව්, රත්නපුරය, හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි ඉඳි කර ඇති තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා අංක අමප/17/0234/740/001 හා 2017-02-07 අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කටයුතු කෙරේ. මෙම මධ්‍යස්ථානය තුළින් ඔවුනට අවශ්‍ය නීතිමය සහාය, උපදේශනය, වෛද්‍ය පහසුකම් ලබා දීම මෙන්ම  ඔවුන් පුනරුත්ථාපනය කිරීමත්,  ඔවුන් තුළ ස්වයං විශ්වාසය ගොඩනංවමින් වින්දිතයින් බලගැන්වීමත්  සිදු කරනු ලබයි.  

8.3      ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණ ඒකාබද්ධ  කෙරෙන වැඩසටහන

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී වන ලෙස මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා එම දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඒකරාශී කරමින් එම ක්‍රියාවන් අවම කිරීමත්, වින්දිතයින් උදෙසා අවශ්‍ය සේවා සැපයීමත් සහ එකිනෙක අංශයන් මේ සඳහා කෙසේ සහාය දැක්විය යුතු ආකාරයත් හඳුනා ගැනීම සහ මැදිහත්වීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. 

8.4      අපයෝජනයට හා හිංසනයට පත් වූ  වින්දිතයින් සඳහා  තාවකාලික රැදවුම් නිවාසය ස්ථාපනය කිරීම

පසුගිය වසරේ මොණරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණ ඒකාබද්ධ කෙරෙන වැඩසටහන සඳහා සහභාගී වූ පාර්ශවකරුවන්ගේ ඉල්ලීමක් වුයේ හිංසනයෙන් හෝ අපයෝජනයෙන් පීඩාවට පත් වු දරුවන් හා කාන්තාවන් රෝහල්ගත කර සාමාන්‍ය රෝගීන් සමඟ එකම ස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ලබා දීමේදී  වින්දිතයින් විවිධාකාරයේ මානසික පීඩනයන්ට තව තවත් භාජනය වන බවය.

එබැවින් මෙම පුද්ගලයින් සඳහා රෝහල් පරිශ්‍රයේම වෛද්‍ය කාර්යමණ්ඩලයේ පුර්ණ අධීක්ෂණය හා ප්‍රතිකාර යටතේ වෙනම  ස්ථානයක් තිබීම ඔවුනගේ කායික හා මානසික සෞඛ්‍ය නැවත ස්ථාපනය කිරීමට ඉවහල් වන බවය.  ඒ අනුව මොණරාගල දිස්ත්‍රික් රෝහල් භූමියේ නව රැදවුම් නිවාසයක් ස්ථාපනය කිරීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇත.

 09. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම සඳහා වු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම (2016- 2020)

 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීමට විවිධ පැතිකඩයන් ඔස්සේ ආමන්ත්‍රණය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම සඳහා වු ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අංශ 09 වන්නේ ළමා කටයුතු, ආපදා කළමණාකරණය, ආර්ථික සංවර්ධන හා රැකියා, අධ්‍යාපනය, කාන්තා බලගැන්වීම හා නිවාරණය, විදේශ රැකියා, සෞඛ්‍ය, අධිකරණ හා නිතී  ප්‍රතිසංස්කරණ සහ මාධ්‍ය වන අතර උප අංශ 02 යටතේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය  ඇතුලත් වේ.  2017 වසරේ සිට  මෙම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක වේ.

 මෙම සැලැස්මට අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික නගා සිටුවීම හා හිංසනය වැළැක්වීම/මැදිහත්වීම, රැකියා ස්ථානය/සංක්‍රමණික කාන්තාවන්ට සිදුවන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීම, ආරක්ෂාව සහ නීතිය බලාත්මක කිරීම , අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ, මාධ්‍ය, ආපදා කළමණාකරණය යනාදී ක්ෂේත්‍රයන් ඇතුළත්ය.

මෙම සැලැස්ම  ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන  2017-2019 දක්වා වූ මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.  ඒ අනුව එක් එක් අංශයන්හි වගකිව යුතු පාර්ශවකරුවන් වන අමාත්‍යාංශ  ඔවුනගේ වාර්ෂික අයවැය ඇස්තමේන්තුව යටතේ  මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති අතර, වැඩසටහන් හා  ක්‍රියාකාරකම්ද ඉටු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

එසේ සැලැස්මට අදාල සියළු ක්‍රියාකාරකම් හා වැඩසටහන්වල ප්‍රගතිය,  පසුවිපරම් හා ඇගයීම් කටයුතු මෙම අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබේ .

 10. ප්‍රජනන සෞඛ්‍ය සඳහා ඇති හිමිකම ප්‍රවර්ධනය  හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික සහ සිවිල් සමාජ/ සංවිධානවල ධාරිතාව  ශක්තිමත් කිරීම (UNFPA )

 ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කටයුතු කිරීම සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් හා එමඟින් සිදුවන ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවීම අවම කර  ඔවුන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.  පහත සඳහන් ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 0.9ක ප්‍රතිපාදන මෙම වර්ෂයේදී එම ආයතනයෙන් ලබා දී ඇත.

10.1    ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයට හා පීඩාවට පත්වන්නන් සඳහා සේවාවන් සැපයීමට අදාළව රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම. (මන්නාරම සහ හම්බන්තොට) 

10.2    ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයන් පිළිබඳව දත්ත රැස්කිරීම හා වාර්තාකරණය

 මේ සම්බන්ධව දත්ත රැස්කිරීම හා වාර්තාකරණය වීම තවමත් විධිමත් හා පොදු අකෘතියක් අනුව සිදු නොවීම හේතුවෙන් මෙම හිංසනයන් පිළිබඳව පවතින සංඛ්‍යාලේඛනයන්හි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම අපහසු වේ. එබැවින් විධිමත් ලෙස දත්ත ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරමින් එහි  නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම දත්ත ඒකරාශී කිරීමට යෝජිත ආයතන විධිමත් අකෘතියකට අනුව දත්ත රැස් කිරීම  සඳහා පුහුණු කර දත්ත රැස් කරමින් පවති.

11. ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආයෝජනයන්ගෙන්  25%ක් කාන්තාවන් උදෙසා යෙදවීම.

 ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා වූ ව්‍යාපෘති  වෙනුවෙන් රජය ආයෝජනය කිරීමේදී යොදවන ප්‍රතිපාදනවලින් අවම වශයෙන් 25% ක් සෘජුවම කාන්තාවන් උදෙසා හා ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා පරිදි ආයෝජනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම.

 මේ සඳහා මහා භාණ්ඩාගාරය හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් ජාතික ප්‍රතිපත්ති  සම්පාදනය කිරීම.

 දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ළමා හා කාන්තා සංවර්ධන ඒකක හරහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම ව්‍යාපෘතීන් සඳහා කාන්තාවන් යොමු කිරීම, අධීක්ෂණය හා පසුවිපරම් කටයුතු සිදු කිරීම.

 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ වැඩමුළු පැවැත්වීම, ප්‍රධාන කාර්ය සාධක දර්ශක සකස් කිරීම (KPI) සිදු කරන ලදී.

 11.1    කාන්තා ගෘහමූලික පවුල් සඳහා වන ජාතික සැලැස්ම

 කැබිනට් අනුමැතියකට අනුව පිළියෙල කෙරෙන මෙම ජාතික සැලැස්ම  අංශ 6කින් සමන්විත වන අතර එය බහු පාර්ශවීය ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. යෝජිත අංශ 06 වන්නේ සෞඛ්‍ය හා පෝෂණය, ජීවනෝපාය සංවර්ධනය, සහායක සේවාවන් (නීති, නිවාස, ළමා රැකවරණ), ආරක්ෂාව, සමාජ රැකවරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය හා දැනුවත් කිරීම යන ක්ෂේත්‍රයන්ය.

අමාත්‍යාංශය විසින් මේ වන විට  කාන්තා ගෘහමුලික පවුල් සඳහා වන ජාතික සැලැස්ම කෙටුම්පත් කර ඇත. කෙටුම්පත් කරන ලද මෙම සැලැස්මට සිවිල් සංවිධාන ඇතුළු සියළු පාර්ශව ආයතන වලින්  තොරතුරු  ලබාගෙන තවදුරටත් පෝෂණය කෙරේ.

11.2 කාන්තාවන්ට එරෙහිව සියලු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (CEDAW) 

 ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කල 08 වෙනි කාලීන වාර්තාව (Periodic Report) සඳහා CEDAW කමිටුව මඟින් ඔවුන්ගේ නිර්දේශයන් ලබා දී ඇත. ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය විසින් අතිරේක ලේකම් (සංවර්ධන)ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇත.  එම කමිටුව මඟින් උක්ත නිර්දේශයන් සම්බන්ධව අදාල වන සියළු අමාත්‍යාංශ හා  දෙපාර්තමේන්තු දැනුවත් කර ඇත.  මෙම නිර්දේශ යටතේ තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් සම්බන්ධව උක්ත කමිටුව මැදිහත්වීම සිදු කරනු ඇත