නවතම ප්‍රවෘත්ති

කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) පිළිබඳ පුහුණු වැඩසටහන – II

news-banner

රාජ්‍ය සේවය තුළ නවීන තාක්ෂණය භාවිතයෙන් කාර්යක්ෂම, ඵලදායී සහ නවෝත්පාදනීය සේවා පරිසරයක් ගොඩනැගීමේ අරමුණින්, අමාත්‍යාංශ නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලබන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) පිළිබඳ පුහුණු වැඩසටහනේ දෙවන අදියර 2026 සැප්තැම්බර් 01 වන දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, 06 වන මහලේ ශ්‍රවනාගාරයේදි සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, රාජ්‍ය සේවයේ නවීන තාක්ෂණික ප්‍රවණතා පිළිබඳ නිලධාරීන්ගේ දැනුම හා අවබෝධය වර්ධනය කිරීමත්, AI මෙවලම් වගකීමෙන් හා ඵලදායී ලෙස රාජකාරි කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍ය මූලික කුසලතා ලබා දීමත් මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.

දෙවන වැඩසටහන සඳහා අමාත්‍යාංශ නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වූ අතර, මෙම පුහුණු වැඩසටහනේදී AI පිළිබඳ මූලික සංකල්ප හා එහි වර්තමාන භාවිතයන් පිළිබඳ පුළුල් හැඳින්වීමක් ලබා දීමෙන් අනතුරුව, රාජකාරි කටයුතු සඳහා AI තාක්ෂණය ප්‍රායෝගිකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගන්නා ලදී.

මෙම පුහුණු සැසිය සඳහා සම්පත්දායකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) Talent Development Centre හි ඉංජිනේරු සහ මධ්‍යස්ථාන කළමනාකාරිණී තුෂාරි සෙනෙවිරත්න මහත්මිය විසින් ලබා දෙන ලදී.

පැහැදිලි හා ප්‍රායෝගික ඉදිරිපත් කිරීම තුළින් AI තාක්ෂණය පිළිබඳ සංකීර්ණ කරුණු සරලව අවබෝධ කර ගැනීමටත්, එම දැනුම තම රාජකාරි ක්ෂේත්‍රයන් තුළ ප්‍රායෝගිකව යොදා ගැනීමටත් නිලධාරීන්ට අවස්ථාව සැලසිණි.

AI තාක්ෂණය පිළිබඳ දැනුම ලබා ගැනීම පමණක් නොව, එය වගකීමෙන්, ආරක්ෂිතව සහ ඵලදායී ලෙස රාජ්‍ය සේවයට යොදා ගැනීම මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි.