නවතම ප්‍රවෘත්ති

ආරක්ෂක සයිබර් විධානය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා සයිබර් දැනුවත් කිරීමේ වැඩසටහන

news-banner


ආරක්‍ෂක  අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානය (DCC) මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද එක්දින සයිබර් දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2026 සැප්තැම්බර් 25 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. "Clean Sri Lanka" වැඩසටහනේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ කාන්තාවන්, ළමුන් සහ පවුල් සමඟ සෘජුවම කටයුතු කරන නිලධාරීන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමයි. ඒ අනුව, අලුතින් මතුවන සයිබර් තර්ජන, ඩිජිටල් අවදානම්, අන්තර්ජාල ආරක්‍ෂාව (online safety), පුද්ගලික හා ආයතනික තොරතුරු සුරක්ෂිත කිරීම සහ සයිබර් ආශ්‍රිත සිදුවීම් සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට කටයුතු කෙරිණි. 

අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වූ මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින කාන්තා සංවර්ධන නිලධාරීන්, ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරීන්/සහකාර නිලධාරීන්, උපදේශන නිලධාරීන්/සහකාර නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන සහකාරවරුන්, ළමා ආරක්ෂක නිලධාරීන් සහ මනෝසමාජීය නිලධාරීන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිලධාරීන් 150 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩසටහන මඟින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීමේදී ඩිජිටල් ආරක්‍ෂාවේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කළ අතර, වඩාත් ආරක්‍ෂිත සහ වගකීම් සහගත ඩිජිටල් පරිසරයක් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් ප්‍රයත්නයටද දායකත්වය ලබා දුන්නේය. 

සමකාලීන සයිබර් ආරක්‍ෂණ තර්ජන, ඩිජිටල් ආරක්‍ෂණ පිළිවෙත්, සයිබර් අපරාධ, සයිබර් නීති, මූල්‍ය ආරක්‍ෂාව සහ ඩිජිටල් උපාංග හා තොරතුරු ආරක්‍ෂා කිරීම සඳහා වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් දැනුමක් සහ ප්‍රායෝගික අවබෝධයක් මෙම වැඩසටහන මඟින් සහභාගිවන්නන්ට ලබා දෙන ලදී. ආරක්‍ෂක සයිබර් විධානයේ විෂය ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද මෙම සැසිවාර පහත සඳහන් ප්‍රධාන අංශ ආවරණය කළේය: 

• කෘත්‍රිම බුද්ධිය (AI) සහ ක්වොන්ටම් තාක්‍ෂණ යුගයේ සයිබර් ආරක්‍ෂණ තර්ජන ක්ෂේත්‍රය - ආරක්‍ෂක සයිබර් විධානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.වී.පී. ධම්මික 

• සයිබර් ආරක්ෂණයේ හොඳම පිළිවෙත්: Zero Trust සංකල්පය සහ දෛනික ඩිජිටල් ස්වස්ථතාව (Digital Hygiene) - ලුතිනන් කමාන්ඩර් මිෂෙක් හේවාවසම් 

• ප්‍රායෝගික උපාංග ආරක්‍ෂාව: MFA සැකසුම් සහ ආරක්‍ෂිත සැකසුම් ක්‍රමවේද - මේජර් චතුර පතිරණ 

• බැංකු ආශ්‍රිත මැල්වෙයාර් අවම කිරීම සහ මාර්ගගත මූල්‍ය ගනුදෙනු සුරක්ෂිත කිරීම - ලුතිනන් කර්නල් මලලසේකර හේරත් 

• සජීවී සයිබර් ප්‍රහාර නිරූපණය: Phishing, Social Engineering සහ Malware - ලුතිනන් කමාන්ඩර් සමිත් තිසේරා සහ බලපන්ති ලුතිනන් ප්‍රදීප් කුමාර 

• සයිබර් අපරාධ: ක්‍රියාත්මක වන ආකාරය (Modus Operandi) සහ රාජ්‍ය අංශයට වන බලපෑම - කාන්තා උප පොලිස් පරීක්‍ෂක (WSI) දිනූෂා කාරියවසම් 

• සයිබර් නීති: නීතිමය රාමු සහ ආයතනික වගවීම - මේජර් සඳුන් ගුණවර්ධන 

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ගේ සයිබර් දැනුවත්භාවය සහ ඩිජිටල් ආරක්ෂණ හැකියාවන් ඉහළ නැංවීමට මෙම වැඩසටහන සමත් විය. සයිබර් තර්ජන හඳුනා ගැනීම, සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම, ආරක්ෂිත ඩිජිටල් පිළිවෙත් අනුගමනය කිරීම සහ සයිබර් ගැටලුවලට ඵලදායී ලෙස මුහුණ දීම පිළිබඳ ප්‍රායෝගික දැනුමක් මෙයින් හිමි විය. මෙවැනි වැඩසටහන් තුළින්, ආරක්ෂක සයිබර් විධානය මඟින් රාජ්‍ය ආයතනවල සයිබර් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමටත්, ඩිජිටල්කරණය වන සමාජයක් තුළ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අඛණ්ඩව දායකත්වය ලබා දෙයි.