නවතම ප්‍රවෘත්ති

මූල්‍ය සාක්ෂරතාව සහ MSME බැංකුගත කිරීමේ හැකියාව පිළිබඳ “Bee Trainer” පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන

news-banner

මූල්‍ය සාක්ෂරතාව සහ MSME බැංකුගත කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා නව පියවරක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාවේශන දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මූල්‍ය සාක්ෂරතාව සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ (MSME) බැංකුගත කිරීමේ හැකියාව පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (Training of Trainers – ToT) වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ බිම් මට්ටමේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම මෙන්ම, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (MSMEs) විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට සහ ඒවා ඵලදායී ලෙස භාවිත කිරීමට අවශ්‍ය දැනුම හා හැකියාවන් වර්ධනය කිරීමයි.

පුහුණුව සඳහා නිලධාරීන් තෝරා ගැනීම

මෙම වැඩසටහන යටතේ එක් එක් දිස්ත්‍රික්කයෙන් නිලධාරීන් 50 දෙනෙකු කලාපීය පුහුණුකරුවන් (Regional Trainers – ToTs) ලෙස පුහුණු කරනු ලබන අතර, එය පහත පරිදි වේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් නිලධාරීන් 20 දෙනෙකු

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයෙන් නිලධාරීන් 20 දෙනෙකු

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් නිලධාරීන් 10 දෙනෙකු

පුහුණුව ලැබූ මෙම නිලධාරීන් විසින් තම දිස්ත්‍රික්ක තුළ ඉදිරියේදී දැනුවත් කිරීමේ හා ධාරිතා සංවර්ධන වැඩසටහන් පවත්වමින්, ප්‍රජා මට්ටම දක්වා මූල්‍ය සාක්ෂරතාව ව්‍යාප්ත කිරීම සඳහා පුහුණුකරුවන්ගේ පුළුල් ජාලයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.

වැඩසටහනේ ප්‍රගතිය

මෙම වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු වැඩසටහන සාර්ථකව අවසන් කර ඇත. මේ වන විට කොළඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම වැඩසටහන් 2026 අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස ජාතික මට්ටමේ මූලික දැනුවත් කිරීමේ හා පූර්ව සාකච්ඡා සැසියක් 2026 අගෝස්තු මස 10 වන දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

ඉන් අනතුරුව, කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස 12 වන දින ආරම්භ කරන ලදී.

පුහුණු වැඩසටහනේ ස්වභාවය සහ ව්‍යුහය

මෙම පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන දින 04ක කාලයක් පුරා පැවැත්වෙන අතර, එය ප්‍රධාන මොඩියුල දෙකකින් සමන්විත වේ.

මෙම පුහුණු වැඩසටහන සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්/විෂය විශේෂඥයන් සම්පත් දායකයන් ලෙස සහභාගී වෙති.

න්‍යායාත්මක දැනුම සමඟ ප්‍රායෝගික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීම තුළින්, ප්‍රජා මට්ටමේදී ඵලදායී මූල්‍ය සාක්ෂරතා සහ MSME සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය දැනුම හා කුසලතා මෙම පුහුණුකරුවන් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරේ.

වැඩසටහනේ ප්‍රධාන අරමුණු

මෙම වැඩසටහනේ සමස්ත අරමුණ වන්නේ ප්‍රාදේශීය මට්ටමින් මූල්‍ය දැනුම බෙදාහදා ගැනීමටත්, මූල්‍යමය වශයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සහ MSMEs සඳහා සහාය ලබාදීමටත් හැකි පුහුණුකරුවන්ගේ ශක්තිමත් ජාලයක් ස්ථාපිත කිරීමයි.

පුහුණුව ලැබූ නිලධාරීන් මඟින් පහත කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.

විවිධ මූල්‍ය වංචා සහ වංචනික ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වීම, පොදු වංචා ක්‍රම හඳුනා ගැනීම සහ ආරක්ෂිත මූල්‍ය භාවිතයන් පිළිබඳ දැනුවත් කිරීම.

ඵලදායී ඉතිරිකිරීමේ පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ තම ආදායම් නිසි ලෙස කළමනාකරණය කර ඵලදායී ලෙස භාවිත කිරීමට ජනතාව දිරිමත් කිරීම.

අධික ණයබරෙන් පෙළීම වැළකීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වලින් ආරක්ෂා වීම, වගකීම් සහගත ණය ලබාගැනීම, පොලී අනුපාත, ආපසු ගෙවීම් සහ විකල්ප මූල්‍ය අවස්ථා පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම.

කාන්තාවන්, ව්‍යවසායකයන් සහ බිම් මට්ටමේ ප්‍රජාව අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, විශේෂයෙන් විධිමත් මූල්‍ය තොරතුරු වෙත සීමිත ප්‍රවේශයක් ඇති පිරිස් සඳහා.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ මූල්‍ය දැනුම සහ ව්‍යාපාරික හැකියාවන් වැඩිදියුණු කිරීම, එමඟින් වඩාත් දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව ලබාදීම.

MSME ව්‍යවසායන්ගේ බැංකුගත කිරීමේ හැකියාව (Bankability) ශක්තිමත් කිරීම, මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම, ව්‍යාපාර සැලසුම් සකස් කිරීම, ණය ලබාගැනීමේ අවශ්‍යතා සහ වගකීම් සහගත මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම.

දිස්ත්‍රික් මට්ටමේ තිරසාර පුහුණුකරුවන්ගේ ජාලයක් ස්ථාපිත කිරීම, එමඟින් ප්‍රජා මට්ටමින් අඛණ්ඩව මූල්‍ය සාක්ෂරතා සහ ව්‍යවසායකත්ව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

අපේක්ෂිත ප්‍රතිඵල

මෙම වැඩසටහන මඟින් දිස්ත්‍රික් මට්ටමේ පුහුණු මූල්‍ය සාක්ෂරතා සහ MSME පුහුණුකරුවන්ගේ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. එමඟින් රජයේ නිලධාරීන් හරහා ප්‍රජාව, කාන්තා ව්‍යවසායකයන් සහ MSMEs වෙත අඛණ්ඩ මූල්‍ය දැනුවත් කිරීමේ සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත.

දිගුකාලීනව, මෙම වැඩසටහන මඟින් මූල්‍ය අන්තර්කරණය  වැඩිදියුණු කිරීම, දැනුවත් මූල්‍ය තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය වංචා සහ අධික ණයබරතාවයට ඇති අවදානම අවම කිරීම සහ කාන්තාවන් හා MSMEs සඳහා විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා දායක වනු ඇත.

ඒ අනුව, “Bee Trainer” වැඩසටහන මූල්‍යමය වශයෙන් දැනුවත්, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වුණු බිම් මට්ටමේ ප්‍රජාවක් ගොඩනැගීම සඳහාත්, MSMEs විධිමත් මූල්‍ය පද්ධතිය තුළ වඩාත් ඵලදායී ලෙස සහභාගී කරවීම සඳහාත් වැදගත් නව පියවරක් ලෙස හඳුනාගත හැකිය.