නවතම ප්‍රවෘත්ති

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු

news-banner

දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන්  ආරක්ෂා කිරිම සඳහා බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරිමට අදාළව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.

අද (30) දින දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරිම සඳහා බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරිමට අදාළව මාධ්‍ය සහ ජනතාව  දැනුවත් කිරීමේ අරමුණින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණි.

කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය, පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩී.ඩී.වී. රසාදරී මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.

දරුවන් වෙනුවෙන් සුරක්ෂීත සමාජයක් නිර්මාණය කිරීම උදෙසා මෙම බහු ආංශික යාන්ත්‍රණයේ ඇති වැදගත්කම ගරු අමාත්‍යවරිය විසින් පෙන්වා දුන් අතර මෙම බහු ආංශික යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට අදාළව යොමු කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ගරු ජනාධිපතිතුමන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යන අමාත්‍යාංශ මගින් ලැබුණු ඵලදායී නිරීක්ෂණ සහ යෝජනා පිළිබඳව ද අමාත්‍යවරිය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදහස් දක්වනු ලැබීය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය විසින් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරිම සඳහා හඳුන්වාදෙනු ලබන මෙම බහු ආංශික යාන්ත්‍රණයේ ව්‍යූහය, කාර්‍යභාරය සහ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මෙම යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන ආකාරය එම ආයතන ප්‍රධානීන් විසින් මාධ්‍යවේදීන් වෙත පැහැදිළි කරන ලදී.