නවතම ප්‍රවෘත්ති

“දිවියට සවියක්” නිවාස වැඩසටහන 2026

news-banner

ප්‍රධාන ප්‍රතිපත්ති කුළුණු හතරකින් ගොඩනැගුණු “ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් “ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ප්‍රධාන ප්‍රතිපත්ති කුළුණක් වනුයේ සෑම පුරවැසියෙකුටම ” ගෞරවනීය ජිවිතයක් - සුරක්ෂිත රටක් ” හිමිකර දීමයි. 

මෙම ප්‍රතිපත්තිමය බැඳියාවට අනුව 2026 වර්ෂයේ අයවැය යෝජනාවන්හි  ජීවිතයේ ඕනැම අවධියක ළමා රැදවුම් නිවාසවල ජීවත් වී සමාජගත වූවන්ට සහ අවදානමට ලක්වු දරුවන්ගේ පවුල්වලට ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක, නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවස ප්‍රතිසංස්කරණය  කිරීමට රුපියල් මිලියන 02 ක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට යෝජනා වී ඇත. 

මේ වන විට මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 1747 ක අයදුම්පත්‍ර මෙම අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර,ඉන් අඩකටත් වැඩි පිරිසකට ඉඩම් නොමැති බව මේ වන විට හඳුනා ගෙන ඇත. මෙම වැඩසටහන සඳහා රජයේ ඉඩම් ලබා ගැනීමේ හැකියාව ද අදාල ආයතන වෙතින් විමසා ඇති අතර, දිස්ත්‍රික්ක මට්ටමින් ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ද සිදු කරමින් පවතී.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ අමාත්‍යාංශ හා ආයතන යටතේ එක් එක් දිස්ත්‍රික්කයන්හි තනි නිවාස හෝ තට්ටු නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් පවතින්නේ නම්, එම ඉඩම් හඳුනාගෙන අප අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

තවද, මෙම ප්‍රතිලාභී කණ්ඩායමට අයත් පුද්ගලයින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිට, වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් අනතුරුව සමාජගත වූවන් වන බැවින්, ඔවුන් අතරින් බහුතරයකට තමන්ගේම ඉඩම් හිමිකමක් නොමැති බව හඳුනාගෙන ඇත.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “දිවියට සවියක්” නිවාස වැඩසටහන යටතේ, බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් ලෙස තෝරාගනු ලැබූ ආයතනික රැකවරණයෙන් පසු සමාජගත වූ පුද්ගලයින් සහ අවදානමට ලක්වූ දරුවන් ඇතුළු ප්‍රතිලාභීන් 112 දෙනෙකුට නිවාස ඉදිකර ගැනීම සඳහා ලබාදෙන මූල්‍ය ආධාරයේ පළමු වාරිකයට අදාළ චෙක්පත් ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ වන විටත් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රතිලාභීන් වෙත තමන්ගේම නිවසක් ගොඩනඟා ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇත.

එමෙන්ම, ඉඩම් හිමිකම සහිතව මේ වන විටත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති තවත් ප්‍රතිලාභීන් සඳහා ද නිවාස ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීම සඳහා ඉදිරි කටයුතු සැලසුම් කරමින් පවතී.